තදබදය පිරුණු කොළඹ නගරය හෝ වෙනත් එවැනි කාර්යබහුල නගරයන්හි මෙන්ම ගම්නියම් ගම් පුරා ත්‍රීරෝද රථයෙන් ලැබෙන්නේ අමිල සේවාවකැයි කීමෙහි වරදක් නැත. මේ නිසාවෙන්ම ත්‍රීරෝද රථ භාවිතය පසුගිය වසර දහය පහළොව කාලය තුළ සීඝ්‍රයෙන් ජනප්‍රිය වී තිබේ. මෙම ජනප්‍රියත්වය හා බැඳුණු ඉල්ලුමට සාපේක්ෂ සැපයුමක් ද මේවන විට බිහි ව ඇත්තේය. ත්‍රීරෝද රථ ටැක්සි ව්‍යාපාරය විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබෙන්නේ එනිසාය.
පසුගිය කාල සීමාව තුළ වේගයෙන් වර්ධනය ව්‍යාපාර අතර සංචාරක කර්මාන්තයට ද නොදෙවැනි තැනක් ත්‍රීරෝද රථ ටැක්සි සේවාවට හිමිව ඇතැයි කීම අරුමයක් ද නොවේ. එක් අතෙකින් PickMe, Tuk Tuk ආදී ස්මාට් ක්‍රමවේද පවා මෙම ටැක්සි සේවා සඳහා හඳුන්වා දෙන්නේ මෙම ජනප්‍රියත්වයත් අධික ඉල්ලුමත් නිසාවෙනි.
කෙසේ වතුදු වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ ක්‍රියාමාර්ග අතුරින් වැඩි අවස්ථා ගණනකදී ක්‍රියාකර ඇත්තේ ත්‍රීරෝද රථ ටැක්සි සේවාව අධෛර්යමත් කිරීමට බව පැහැදිලිව කිව හැක. එනම් මේ වසරේ දෙවතාවකදී ත්‍රීරෝද රථවල මිල ගණන් (ආනයන බදු) වැඩිකිරීමට රජය පියවර ගෙන තිබේ. තවද ඉදිරියේදී ත්‍රීරෝද රථ වෙනුවට විද්‍යුත් මෝටර් රථයක් මගී ප්‍රවාහනයට හඳුන්වාදෙන බවද පසුගියදා පැවැති අයවැය කතාබහෙදී කියැවිණි.
පෞද්ගලික බස් රථ කර්මාන්තය නියාමනය කිරීමට, සංචාරක කර්මාන්තය නියාමනය කිරීමට, විදුලි සංදේශ ක්ෂේත්‍රය නියාමනයට ආදී වශයෙන් රටේ සෑම අංශයක්ම නියාමනය කිරීමට දායක වීම රජයේ කාර්යභාරයක් ලෙස සැලකේ. මෙසේ නියාමනයක් පැවතීමෙන් අදහස් කෙරෙන්නේ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාව තහවුරැ කිරීම මෙන්ම පාරිභෝගික අයිතීන්ද සුරැකීමය.
මේ පසුබිම තුළ ත්‍රීරෝද රථ කර්මාන්තයද නිසි කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගෙන ඊට නිසි නියාමනයක් එක් කිරීම ගැරහිය යුත්තක් නොව පැසසිය යුත්තකි. එසේ වුවද ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට එකතු වීමේදී පනවන්නට යෝජනා කරන වයස් සීමාව පිළිබඳ සාධකය නම් කොතෙක් දුරට සාධාරණද යන්න ගැටලුවකි.
ඉතා ළාබාල තරුණ වයසේදීම ත්‍රීරෝද රථ රැකියාවට තරුණයන් යොමුවීම දීර්ඝකාලීන වශයෙන් රටට අහිතකර බවටද තර්කයක් ගොඩනැගී තිබේ. එනම් පාසල් අවසන් වීමෙන් පසු ත්‍රීරෝද රථයකින් මුදල් සෙවීම අරඹන නැවුම් තරුණ ජීවිත ඉනික්බිති ගොඩනැගෙන්නේ ත්‍රීරෝද රථය වටාය. ඒ සමඟ හිමිවන නිදහස්කාමී ලක්ෂණය නිසාම ඔවුන් වඩවඩාත් එම රැකියාවටම යොමුවනවා හැරුණු විට වෙනත් රැකියාවක් ගැන සිහින දකින්නට සිතන්නේ නැත.
බරපතළකම ඇත්තේ එතැන ය. තරුණ ජීවිත යනු රටේ අනාගතය රැඳි දෑතය. එවන් ජීවිත ත්‍රී රෝද රථයකට කොටුවීම යනු රටේම අභාග්‍යයක් ලෙස සැලකීමෙහි වරදක් නැත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත පිරික්සීමේදී පෙනී යන්නේ මෙරට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබාදෙන සෑම අධ්‍යයන ආයතනයකම පාහෙ 2014 වසරට සාපේක්ෂව 2015 වසරේදී ඇතුළු වූ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස පහළ වැටී ඇති බවය.
අනෙක් අතට මෙවැනි තීරණයක් ගතහෙත් එය සංකීර්ණ සමාජ ගැටලුවක් ලෙස ඔඩුදිවීම නතර කරගන්නට නොහැකි වනු ඇත. මන්දයත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ කුසගිනි නිවීමට මෙම කර්මාන්තය පිහිට වී ඇති බැවිනි.
එනිසා වයස් සීමාව පිළිබඳ තීන්දුව ලබාදීමේදී දෙවරක් සිතා බැලීම යෙහෙකැයි කිව හැක. ළාබාල වයසේ තරුණයන්ට ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන බලපත් ලබාදීමෙන් පසු පරිවාස කාලයක් යෝජනා කිරීම නම් සාධනීය යෝජනාවකි. එනම් තරුණයාට යම් අවස්ථාවක් ලබාදී එම කර්මාන්තය තුළ සාර්ථක වීමට අවස්ථාවක් ඉදිරිපත් කර තිබේ.
රජය මෙසේ ත්‍රීරෝද රථ කර්මාන්තයට යොමුවන තරුණ පිරිස අඩුකිරීමට විවිධ ප්‍රකාශ සිදුකළද එය අඩුකිරීමට කළ හැකි වඩාත්ම හොඳ ක්‍රමය වනු ඇත්තේ ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය මට්ටමටම නඟා සිටුවීමය. මන්ද යත් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් වෘත්තීය අධ්‍යාපනයත් ඇත්තේ ස්ථර දෙකක ය. එනිසා වෘත්තීය පුහුණුවට යොමුවන ශිෂ්‍ය සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් මතුව ඇත. මේ බව තහවුරු කරන තවත් සාධකයක් වන්නේ 2014 හා 2015 වසර සංසන්දනයේදී වෘත්තීය පුහුණුවට යොමුවන පාසල් හැර යන ළමුන් එක්වන ප්‍රමාණය ගෙන බැලීමේදී යන්තමින් හෝ වර්ධනයක් පෙන්නුම් කරන්නේ වෘත්තීය පුහුණු විශ්ව විද්‍යාලයට හා තවත් වෘත්තීය අධ්‍යාපන ආයතන එකක දෙකක පමණි.
එනිසා හිතෙන හිතෙන දේ කරන්නට නොයා නිසි වැඩසටහනක් ඔස්සේ තරුණ ශ්‍රමය රටේ සංවර්ධනය එකතු කරගැනීමට සිතන්නේ නම් යහපත්ය.
මේ පිළිබඳව ඉදිරිපත් වන තවත් අදහසක් වන්නේ ළාබාල තරුණයන් ත්‍රීරෝද රථ මගී ප්‍රවාහනයට එකතු වීම නිසා ත්‍රීරෝද රථ අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මේ පිළිබඳව තම අදහස් පළ කළේය.
“ලීසිං පහසුකම් ආදිය ලබාගැනීමේ පහසුවත් එක්ක අපේ රටේ බොහෝ තරුණයින් ත්‍රීරෝද රථ රැකියාව තෝරාගැනීමට නැඹුරු වීම සුලබව දකින්න ලැබෙන දෙයක්. තමන් මේ රැගෙන යන්නේ මගීන් බවත් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් නොකළ යුතුයි කියන තැන මේ පිරිස නොසිටීම නිසා විශේෂයෙන්ම අඩු වයස් කාණ්ඩයේ ත්‍රීරෝද රථ රියැදුරන් අතින් සිදුවුණු අනතුරු මරණ ඉහළයි. මේ නිසා ත්‍රීරෝද රථයක් පැදවීමට නම් වයස අවුරුදු විසිපහ පසු කරතිබීමත් අවුරුදු දෙකක පමණ පරිවාස කාලයකට යටත් වීමත් එම කාලයෙන් පසුව ඔවුන්ට මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියැදුරන් ලෙස බලපත්‍රයක් ලබාදීමත් අපි යෝජනා කරලා තියෙනවා. ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යවරයා සහ වෙනත් අංශ සමඟත් කතා කිරීමෙන් පස්සේ මේ ගැන මීළඟ පියවර ගන්න බලාපොරොත්තු වෙනවා” ඔහු පැවසීය.
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසන්නේ මෙවැනි අදහසකි.
“1977 දී ත්‍රීරෝද රථය අපේ රටට හඳුන්වා දුන්නෙ මේ ආණ්ඩුවයි. අද ඒ අයම මැදිහත් වෙලා මේ ත්‍රීරෝද රථ කර්මාන්තය විනාශ කරන්න හදනවා. ඒකට අපි විරුද්ධයි. ආණ්ඩුව කියන දෙයක් තමයි මේ ත්‍රී රෝද රථ රැකියාවේ ඉන්න සියයට පහළොවක් තරුණ කොටස් කියන එක. එහෙම කියලා ඉතිරි සියයට අසූ පහකගේත් ආදායම් මාර්ගය වන මේ කර්මාන්තය කඩා බිඳ දමන්න ආණ්ඩුව කටයුතු කරනවා. මේ නියම කරලා තියෙන රුපියල් විසිපන්දහසේ දෙදහස් පන්සියයේ දඩත් එක්ක මේ අයගේ දරු පවුල් අනාථ වෙන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා අපි කියන්නේ තරුණ කොටස්වලට ත්‍රීරෝද රථ කර්මාන්තයට එන්න දෙන්නේ නැත්නම් ඔවුන්ට සුදුසු රැකියා දෙන වැඩපිළිවෙළක් මුලින්ම ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි”.
කෙසේ හෝ වේවා කාටත් පිළිගත හැකි සාධාරණ විසඳුමකට පිවිසීමට නොහැකි වුවහොත් මෙම තත්ත්වය යම් සමාජ ප්‍රශ්නයක් ලෙස අනතුරුව පැසවමින් දරුණු වණයක් බවටද පරිවර්තනය විය හැකි බව සිහිකැඳවිය යුත්තේ ය.
♦ රජිත ජාගොඩ ආරච්චි